Saturday, June 21, 2014

බූට් තැබීම සහ බූට් කෑම



අද කාලෙ කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තියනවා කියන්නේ මහ සහගහන අපරාධයක්. කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි. කට්ට කාල අමාරුවෙන් දාගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු කෑල්ල එකපාරම බූට් එක තිබ්බම මොකද හිතෙන්නේ? එහෙම දේකට මූණ දෙන්න වුනොත් මොකද කරන්නේ?

මගේ දැනීමේ හැටියට ගොඩක් අය බූට් එක කන්නේ මෙහෙමයි..

අපේ කොල්ලො (සියල්ලන් නෙමේ) කරන්නේ මුලින්ම කෙල්ලව ශේප් කරගන්න ට්‍රයි එක දෙන එක. අන්තිමට ඕක කෙල්ලට වාතයක් වෙන තත්වයටම පත්වෙනවා. කොටින්ම කියනවා නම් කෙල්ල පස්සෙන් බල්ලෙක් වගේ නැට්ට වන වන වැඳ වැඳ යන තත්වයටම පත්වෙනවා. ඒකත් හරි ගියේ නැති වුනාම ඕකෙ ඊලඟ ලෙවල් එක තමා ගේම ඉල්ලීමේ ලෙවල් එක. මරාගෙන මැරෙන්න සූදානම් වෙන පලිගැනීමේ ලෙවල් එක. යාලුවෝ දමා තමා එක දවසක් හරි ලව් කරපු ඒ කෙල්ලව චාටර් කරන ලෙවල් එක. මඩ ගහන, නම කැත කරන, තමාගේ සහ ඇගේ ලිංගික ජීවිතය ගැන අනිත් අයට කිය කිය, ඇගේ අලුත් පෙම්වතාගේ ජීවිතයට තර්ජනය කර කර, වෙඩින් ගන්න දෙන්නේ නෑ කියල තර්ජනය කරන ලෙවල් එක. ෆොටෝ තියෙනව නම් ඒව දාල කෙල්ලගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදල ඒකෙන් මෝඩ චූන් ගන්න ලෙවල් එක. ෆේස් බුක් එකේ බූට් ස්ටේට්ස්, බූට් ෆොටෝස් දමමින් අන් අයගේ අනුකම්පාව සහ අවධානය හිඟාකන ලෙවල් එක.ඊට පස්සේ ආයෙ කවදාවත් ලව් කරන්නේ නෑ, කෑලි දාගන්නේ නෑ, දාගත්තත් සිරා කරන්නේ නෑ කියල තමා තමාටම පොරොන්දු වෙනවා.අන්තිමට මාස දෙක තුනක්, අවුරුද්දක් ගිහින් කෙල්ල අමතක වුනාම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා.අවුරුදු කිහිපයක් ගිහින් ඒ කෙල්ලව බැඳල ඒකි එක්ක පාරෙ යද්දි අර පරණ කෙල්ලව මුහුණට මුහුණ හම්බුනාම පොලව පලාගෙන යන්ඩ හිතෙනවා තමා වැඩවල හැටියට ඒ කෙල්ලගෙ මූණවත් කෙලින් බලන්න බැරි නිසා.ලමයෙක් දෙන්නෙක් හම්බෙලා තාත්තෙක් වුන දවසට අර පරණ නැට්ට වනපු සීන් මතක් වෙද්දි තමාට තමා ගැනම ලැජ්ජ හිතිල අනේ මම වගේ ගොනෙක් කියල හිතෙන තත්වයටම පත්වෙනවා.

ඕක තමයි බොහෝ අය බූට් එක කන විදිහ. මේ කට්ටිය සහ මේ තත්වයට පත්වෙන්න ඉන්න කට්ටියට (ඉදිරියේදී බූට් කන්න ඉන්න කට්ටියට) බූට් තැබීමේ අයිතිය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන එකයි මේ ලිපියේ අරමුණ.

බූට් එකක් තියන එක හෙවත් ආදර සම්බන්ධයකට නැවතීමේ තිත තියන එක ඔයතරම් වැරදි දෙයක්ද?

වැඩිවියට පැමිනුණ දින සිට නොයෙකුත් හේතු නිසා තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සම්බන්ධකම් සෑම විටම විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ, එසේ විය යුතුත් නෑ. ආකර්ශනය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඇතිවන මේ සම්බන්ධතා බිඳ වැටීම සාමාන්‍ය දෙයක්. තරුණයෙක් සහ තරුණියක් ආදර සම්බන්ධතාවක් පටන් ගත් පසු කාලය ගත වීමෙන් එකිනෙකා තේරුම් ගැනීම සිදුවනවා. මෙයට අනිවාර්‍යෙන් කාලය ගතවනවා. එසේ කාලය ගතවූවායින් පසුවත් කෙනෙක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකි වුවත්, තමාගේ අවශ්‍යතා, උවමනා, සහ වටිනාකම් වලට තම සහකරුවා හෝ සහකාරිය ගැලපෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සම්බන්ධතාවය පවත්වාගෙන යන දෙදෙනාගේම අයිතියක්. බොහෝ විට මේ තීරණය ගැනීම සිතා බැලීමෙන් පසුව හෝ නිරායාසයෙන් නොදැනුවත්වම සිදුවන්නේ. මුල් කාලයේ ආදරයෙන් තේරුම් ගැනීමෙන් ගෙන ගිය සම්බන්ධතාවය කල්යත්ම වෙනත් ස්වභාවයකට පත්විය හැකියි. මේ තත්වයට පත්වීමෙන් අනතුරුව තම උවමනා සහ වටිනාකම් වලට නොගැලපෙන කෙනෙක් සම‍ඟ අනුකම්පාව නිසා හෝ සමාජය ඉදිරියේ පත්වන ලජ්ජාව නිසා හෝ දිගටම සිටීම තමාට මෙන්ම තම සහකරුවා/සහකාරියටත් කරන අසාධාරණයක් නොවේද? එසේ සිටින යුවලක් විවාහ ජීවිතයට ඇතුලත් වුනොත් එම සම්බන්ධතාවය සාර්ථක වීමට වඩා අසාර්ථක වීමට හැකියාව ඉතා වැඩි ඉඩක් තිබෙනවා නොවේද? එය විවාහයෙන් පසු තමා බිහි කරන ලමයින්ට කරන අසාධාරණයක් නොවේද?

ආදර සම්බන්ධතාවයේ යම් අවස්ථාවක තම සහකරුවාට/සහකාරියට ඇති ආදරය, ආකර්ශනය නැති වී ගොස් ඒකාකාරී, නිරස ස්වභාවයකට පත්වුනහොත් ඒ බව තම සහකරුවාට/සහකාරියට දැනුම් දී තීරණයක් ගැනීම වැඩිහිටියක් විදිහට කල යුතු වගකීමක් බවයි මගේ අදහස. තම වෙනස් කම්, නොගැලපීම් සාකච්ඡාවෙන් විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව හෝ එසේ නොමැතිව හෝ සම්බන්ධයට නැවතීමේ තිත තැබීම දෙදෙනාගේම අයිතියක්. මෙය ඉතාම පැහැදිලි, සරල කාරනයක්.

මගේ පුද්ගලික අදහස නම් සහකාරියක් විසින් ප්‍රේම සම්බන්ධයක් නැවතීමට තීරණයක් ගෙන ඒ ගැන කතා කිරීමට හෝ අකමැති නම් එයත් ඇයගේ අයිතියක් බවයි. කෙනෙක් සමග දිගටම සම්බන්ධතාවය ගෙනයාමට අකමැති වීමම ප්‍රමාණවත් විය යුතුයි ඒ සම්බන්ධය නැවතීම සඳහා. නැතුව තමාගේ තීරණයට හේතු ඉදිරිපත් කිරීම හෝ වග උත්තර බැදීම බලෙන් කරන්නට යෑම තේරුමක් නැති දෙයක් විදිහටයි මම දකින්නේ. මෙහිදී සමාජය විසින් මේ දෙස බලන විදිහ අනුමත කල නොහැකියි. උදාහරණයක් විදිහට සම්බන්ධය නැවැත්වූ තරුණිය ටික කාලයකට පසු වෙනත් පොහොසත් තරුණයෙක් හෝ වඩා කඩවසම් තරුණයෙක් සමඟ හෝ ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් සැමදෙනා ඇය දෙස බලන්නේ වපර ඇසින්. නමුත් සිදු වුනේ මම කලින් සඳහන් කල දෙය නොවේද? ඇයගේ අවශ්යතාව, උවමනාව, සහ වටිනාකම් වලට ගැලපෙන කෙනෙක් ඇය විසින් තෝරාගනු ලැබුවා. මම එහි කිසිම වැරැද්දක් ඇති බව සිතන්නේ නෑ. තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඇයගේ අයිතියක් පැහැදිලිවම.

ඒ අවස්ථාවේ තමා කැපකල කාලය, ශ්‍රමය, මුදල්, තම සිහින වැනිදේ තමාට අහිමි වූ නිසා ලොකු නාස්තියක් අපරාදයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව සිතා බැලීමේදී සිදුවුනේ ඉතාම හොඳ දෙයක් බව සක්සුදක් සේ පැහැදිලියි. මෙවන් අවස්ථාවල හැකිතර්ම් බුද්ධියෙන් කටයුතු කිරීමයි කල යුත්තේ. ජීවිතයට හොඳ අත්දැකීමක් කර ගැනීමයි කල යුත්තේ.මගෙ අදහස නම් අදාල තරුණයා සතුටු විය යුතුයි තරුණිය ඒ තීරණය ගැනීම ගැන. නැතහොත් විවාහයෙන් පසු තමාට සැපිරීමට නොහැකි ඇයගේ ආශාවල්, අවශ්යතා නිසා දෙදෙනාගේම ජීවිත මෙන්ම දරුවන්ගේ ජීවිතද අපායක් වීමට තිබුන අනාගතය අර තරුණියගේ තීරණය හේතුවෙන් වැලකී ගිය නිසා. සිදු වූයේ බූට් තැබීමක් හෝ අවමන් කිරීමක් නොව දෙදෙනා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් විසින් අනෙකා තේරුම් ගෙන වැඩිහිටියෙක් සේ ගත් තීරණයක්. ඉතින් මෙවන් අවස්ථාවක කල යුතු වන්නේ දෙදෙනාම වැඩිහිටියන් දේ හැසිරීමයි.

හදවතින් තීරණ ගැනීම කියා දෙයක් නැත. සෑම විටම ජීවිතයේ තීරණ බුද්ධිමත්ම ගැනීමට උත්සාහ කල යුතුයි. හදවතින් තීරණ ගැනීම යනු බුද්ධිය පාවිච්චි කොට තීරණ නොගෙන හැඟිම් වලට වහල් වී ගන්නා අනුවණ තීරණ හැඳින්වීමට මිනිසුන් සාදාගත් නමකි.

මෙවන් අත්දැකීම් වලින් තම ජීවිතයට පන්නරයක් ලබා ගැනීමයි කල යුත්තේ. ජීවිතයේ යාථාර්තයට මුහුණ දීමට වැඩිහිටියන් ලෙස අපි සියල්ලන් සූදානම් විය යුතුයි. ඒක කරන්න බැරි කෙනෙක් ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමට, විවාහ වීමට, දරුවන් බිහි කිරීමට සුදුසු කෙනෙක් නොවේ.

මෙවන් අවස්ථා මෙන්ම ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම මුහුණ දෙන්නට සිදුවන මිහිරි සහ අමිහිරි අත්දැකීම් තුලින් පන්නරයක් ලබාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කරගැනීමයි කල යුත්තේ. පසු කාලයේදී තමාට තමා ගැනම ලජ්ජාවන අයුරින් එවන් අවස්ථා වලදී හැසිරීම නොවේ.

Sunday, April 27, 2014

කෙල්ලව ශේප් එකේ තියාගන්න

අද මේ ලව් සික් එක ගොඩක්ම අදාළ වෙන්නේ කොල්ලන්ට. ඒත් ඉතිං පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර කෙල්ලොත් මේ ගැන දැනගෙන ඉන්න ඕනෙ. මචං… කොල්ලනේ… සමහර කෙල්ලො ඉන්නවා, අයියෝ…. කියලා වැඩක් නෑ… නන්නත්තාරයි!! හැමතිස්සෙම මල පනිනවා, රණ්ඩු වෙනවා, වලි දාගන්නවා. ෂික්!! තමන් ආදරේ කරන කෙල්ලව ෂේප් එකේ තියාගෙන ඉන්නවා කියන්නේ ලල් ඇදවෙන මාරම අමාරු වැඩක් කියලා හැම කොල්ලෙක්ම අත්දැකීමෙන් දන්වා ඇති කියලා මම විශ්වාස කරනවා!! ඇත්තම කියනවනම් ඒ ගැන මමත් හොඳට දන්නවා! කෙල්ලව ෂේප එකේ තියාගන්නවා කියන්නේ විද්‍යාත්මක කලාවක් කියලත් කියන්න පුළුවන්. ඔන්න ඉතිං අද මම උඹලට කියන්න යන්නෙ තමන්ගෙ පෙම්වතියව ෂේප් එකේ තියාගන්න පුළුවන් දෙල් ‍ෙදා‍ෙදාල් වෙන තොල් තොදා‍ෙල් වෙන නීති කිහිපයක් ගැන. උඹලත් මේවා අත්හදා බලලා ප්‍රතිඵලේ මොකද්ද කියලා මට කියන්න.
• කෙල්ල අකැමැතිනම් එයාගේ අතින්වත් අල්ලන්න එපා. මොන දේ කළත් ඒක තමන්ගේ කෙල්ලගේ කැමැත්ත අරගෙන කරන්න. ටිකක් බලකළාට කමක් නෑ. ඒත් අනවශ්‍ය විදියට බලකරන්න නම් යන්න එපා මහත්තයෝ.• ප්‍රේම සම්බන්ධය පටන්ගත්ත දිනය, පෙම්වතියගේ උපන්දිනය වගේ විශේෂ දින අමතක කරන්න එපා. අමතක වෙනවනම් කොහේ හරි ලියලා තියාගනිං. ඒවා අමතක වුණොත් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.• අඩුම තරමින් දවසකට මැසේජ් දෙකක්වත් යවන්න. කෙල්ලොන්ට ඒ මැසේජ් එක මහ මෙරක් තරම් වටිනවා. එතකොට ඉතිං පිස්සු පීකුදු බොක්ක පිරිසිදු වෙලා යනවා.
• හැමතිස්සෙම පෙම්වතියත් සමඟ ඇයගේ ගුණ වර්ණනා කරන්න. අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න ගිහිල්ලා වැඩේ අනාගන්නත් එපා.
• තමන්ගේ කෙල්ලත් එක්ක කතා කරනකොට අනෙක් කෙල්ලන්ව වර්ණනා කරන්න එපා. කෙල්ලො ඒකට කැමැති නෑ. ඒත් අකැමැත්ත පෙන්නන්නෙත් නෑ. ඒත් ඒ අය හිතින් ඒවගේ දේවලට අකැමැතියි.
• කෙල්ලත් එක්ක කෑමක් කනකොට උඹලගේ අතින්ම කෙල්ලට ඒ කෑමවලින් ටිකක් කවන්න අමතක කරන්න එපා. එතකොට ආදරේ තවත් වැඩි වෙනවා.
• කසාඳබඳින එක පරක්කු කරන්න ඕනෙ, කල් දාන්න ඕනෙ කියලා කවදාවත් කියන්න එපා. තමන්ගේ පෙම්වතිය ඉක්මනට බඳින්න ඕනෙ කියලා එයාට හඟවන්න.
• අමාරුවෙන් හරි කෙල්ලත් එක්ක ෂොපිං කරන්න යන්න. ෂොපිං ගියහම තමන්ගේ කෙල්ලත් එක්ක ඇඳුම් තෝරන්න රැක් එකෙන් රැක් එකට ගිහිල්ලා එයාට ඇඳුම් තෝරන්න උදව් වෙන්න. වැඩේ අමාරුයි තමයි, ඒත් කොහොම හරි කරන්න. එයා මොකක් හරි ඇඳුමක් අරගෙන ලස්සනයිද කියලා ඇහුවොත්, ඒ ඇඳුම අරගෙන කෙල්ලගේ ඇඟට තියලා ටිකක් වෙලා ඒ දිහා සුපරික්‍ෂාකාරීව බලාගෙන ඉඳලා ලස්සනයි කියලා කියන්න. ඒ ලස්සනයි කියලා කියන ස්වරය, ඇඳුමෙන් ඇඳුමට වෙනස් කරන්න.පළමු වතාවෙදි හිනාවෙලා ලස්සනයි කියන්න. ඊට පස්සෙ වතාවෙදි බැරෑරුම් විදියට ලස්සනයි කියන්න. ඔය විදියට එක එක ස්වරවලින් එක එක විදියට ලස්සනයි කියලා කියන්න. ඒත් චාටර්ම චාටර් මෙලෝ රහක් නැති නන්නත්තාර ඇඳුමක් තෝරගත්තොත් කෙල්ලට ඇත්තම කියන්න.
• සමහර වෙලාවට කෙල්ලෝ එක එක විදියේ ෆැෂන් කරගෙන කොල්ලව හම්බවෙන්න එනවා.
එහෙම ඇවිල්ලා තමන් කරපු ෆැෂන් එක ගැන කිසිම දෙයක් දන්නෙ නෑ වගේ ඒ ගැන නොකියා ඉන්නවා. කෙල්ලො එහෙම කරන්නෙ කොල්ලගේ කටින්ම ඒ අලුත් ෆැෂන් එක ගැන අහගන්න ඕනෙ නිසා. ඒත් තමන් කරපු අලුත් ෆැෂන් එක කොල්ලට පෙනුණේ නැත්නම් ඒ ගැනත් කෙල්ලෝ ඔරොප්පු වෙනවා. උදාහරණයක් විදියට තමන්ගේ කෙල්ල කොණ්ඩෙට පොඩි හයිලයිට් එකක් කළා කියලා හිතන්නකෝ. ඒක කොල්ලා දැකලා ෂාාා නියමයි කියයි කියලා තමයි කෙල්ල හිතාගෙන ඉන්නේ. ඒ නිසා තමන්ගේ කෙල්ලව හම්බවුණහම ඒ කෙල්ලගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂාකරලා බලන්න.
• තමන්ගේ කෙල්ල මොකක් හරි අලුත් විලාසිතාවක් කළොත් ඒක දැක්ක මුල්ම අවස්ථාවේදී උඹලා සතුටෙන් පුදුම වෙන්න. ඒ ෆැෂන් එක වර්ණනා කරන්න. ඒ වගේ දේවල් කෙල්ලොන්ට මාර ආතල්. ඒත් ඉතිං ඒ ෆැෂන් එකේ පට්ටපල් තැනක් තිබුණොත් ඇත්තම කියන්න.
• තමන්ගේ කෙල්ලගේ අතින් මොකක් හරි වැරැද්දක් වුණොත් තමන්ගේ පරණ කෙල්ලගේ අතින් නම් මේ වගේ වැරැදි වෙලා නෑ වගේ කතා කියන්න එපා. තමන්ගේ කොල්ලගේ පරණ කෙල්ලො තමන්ටත් වඩා හොඳයි කියලා තමන්ගේ කොල්ලගේ කටින් අහගන්න කිසිම කෙල්ලෙක් කැමැති නෑ.
• තමන්ගේ කොල්ලා තමන්ව පුදුමයට පත්කරලා සතුටු කරනවට කෙල්ලො පට්ට කැමැතියි. උදාහරණයක් විදියට තමන්ගේ කොල්ලා තමන්ට කියන්නෙත් නැතිව තමන්ගේ උපන්දිනයට දියමන්ති මුද්දක් අරන්දෙනවා වගේ දේකට කෙල්ලෝ මාරම කැමැතියි. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ කෙල්ලව පුදුමයට පත් කරන්න. ඒත් ඉතිං කෙල්ලොන්ව පුදුමයට පත්කරන්න වියදම් වෙන ගාණ නිසා කොල්ලොන්ව පුදුමයට පත් වෙනවා කියලා කෙල්ලො දන්නෙ නෑ.
• තමන්ගේ පෙම්වතා ආශ්‍රය කරන අනෙක්් යාළුවො අතර ඉන්න කෙල්ලන්ගේ අඩුපාඩු තමන්ගේ පෙම්වතාගේ කටින් අහගන්න කෙල්ලො මාර ආසයි. ඒ නිසා කාටවත් හානියක් නොවෙන විදියට එහෙම කළාට කිසි අවුලක් නෑ.
• තමන්ගේ කෙල්ලගේ අඩුපාඩුවක් ගැන වැරැද්දක් ගැන නොගැළපෙන දෙයක් ගැන කියනකොට පොල්ලෙන් ගහනවා වගේ කියන්න එපා. ඒක කියන්න ඕනෙ හරිම පරිස්සමෙන්, පරංගියා කෝට්ටෙ ගියා වගේ කියන්න පුළුවන් නම් නියමයි. කෙල්ලගේ හිත රිදෙන්නේ නැති විදියට තමයි ඒ දේ ගැන කියන්න ඕනෙ. කෙල්ලගේ වැරැද්දක් පෙන්නලා දෙන්න ඕනෙ හරිම රොමෑන්ටික් විදියට. එහෙමයි කියලා ඉතිං ඔළුව අතගාලා ටොක්කක් අනිනවා වගේ කරන්නත් එපා.
• සමහර දවස්වලට තමන්ගේ කෙල්ලට කිසිම තේරුමක් නැතිව, කිසිම හේතුවක් නැතිව කේන්ති යනවා කියලා උඹලට දැනිලා ඇති. එහෙම වෙන්නේ හේතුවක් නැතිවම නෙවෙයි. තමන්ගේ කොල්ලට පවා නොකියන ශාරීරික හේතුවක් නිසා සමහර කෙල්ලන්ට ඒ විදියට කේන්ති යනවා. ඒ නිසා ඒ විශේෂ දවස්වල තමන්ගේ කෙල්ලට කේන්ති ගියහම අපි ටිකක් ඉවසන්න ඕනෙ.
• තමන්ට මෝටර් බයික් එකක් තියනවානම් ඒ බයික් එකේ වෙන කෙල්ලෙක්ව දාගෙන යනවට උඹේ කෙල්ල කවදාවත් කැමැතිවෙන එකක් නෑ. කාර් එකක වෙන කෙල්ලෙක්ව දාගෙන ගිහිල්ලා මාට්ටු වුණොත් අමාරුවෙන් හරි නඩුව ගොඩදාගන්න පුළුවන්. ඒත් මෝටර් බයික් එකක වෙන කෙල්ලෙක්ව දාගෙන ගිහිල්ලා මාට්ටු වුණොත් ඉතිං කෙළින්ම නඩුව පාරදයි.

පෙම්වතිය විසින් පෙම්වතා පාලනය කිරීමට උත්සාහ කිරීම හොඳද???

පෙම්වතිය විසින් පෙම්වතා පාලනය කිරීමට උත්සාහ කිරීම හොඳද???



මේ කතාව අද ගොඩක් දකින්න පුළුවන් දෙයක්.. affairs වල ප්‍රශ්න.. ඇයි මේවා ඇති වෙන්නේ??? love කරලා marry කරත් පොඩි කාලෙකදී divorce case..!!!! ඇයි මේ??? ඒ ගැන පොඩි කතාවක් මේ..


අද කාලේ අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ Love Affairs දිහා බලද්දී පේන එක දෙයක් තමයි, කෙල්ල කොල්ලව හීන් නූලෙන් නටවන එක.. සිංහලෙන් කිව්වොත් ඒ දෙන්න ගැන හැම තීරණයක්ම ගන්නෙ කෙල්ල!!! කෙල්ලගේ තීරණේ තමයි අවසාන තීරණේ.. එහෙම නොව්නොත් ඉතින්....!!!!!!!! 
යන්නේ එන්නේ කොහෙද, කන්නේ බොන්නේ මොනවද, අඳින්නේ මොන ඇඳුම්ද, මේ හැමදේම තීරණය කරන්නෙ කෙල්ල :o
ඒවා විතරද.... ඇයි Wedding එක ගැන.... කොයි කාලේද marry කරන්නෙ. කොහෙද wedding එක ගන්නෙ. Honeymoon යන්නේ කොහෙද.. :P wedding dresses මේ ඔක්කොම තීරණය කරන්නෙ කව්ද??? කෙල්ල විතරමයි!!!! 

ආදරය වැඩි කමට

යාළු උන මුල් කාලේදී කොල්ලනම් මේක දකින්නේ වෙන විදිහකට. "එයා තමා හැමදේම හොයල බලලා කරන්නෙ. මට ඔය දේවල් තේරෙන්නේ නැනේ.." අන්න එහෙමයි මේවා කොල්ලටනම් පෙන්නේ.. ඇයි ඒ විතරක්යැ... "එකී නම් සිරාම wife කෙනෙක් තමයි, කොච්චර හොදද.." එහෙමත් හිතෙනවලු 
කොල්ලත් ඉතින් සිරාම love කෙල්ලට. එකී කියන ඕන දෙකට නැමෙනවා මේ කාලේදී.. එහෙම කරන්නත් මාරම කමතියි කොල්ලත්...

හැබැයි කොල්ල වට පිටේ ඉන්න යාලුවෝ ගෙදර උදවියට නම් මේවා පේනවා හොදට... හැබැයි කිව්වට නම් අහයිද??? බිරි අලින්ට වීණා වාදනය තමා ඉතින්....
හැබැයි තේරුම් ගන්නෙ අව්රුදු 2ක 3ක් ගිහාම තමා...

පිරිමිකමට ඉඩදීම

ගොඩක් කෙල්ලෝ කරන වැරද්දක් තමා පිරිමිකමට ඉඩ දෙන්නේ නැති එක.. තමගේ පදේට කොලව නටවන්න ගිහාම තමා ලොකුම ප්‍රශ්නේ එන්නේ.. මොකද කිව්වොත් පිරිමි වෙච්ච අපි පිරිමිකම ගැන සෑහෙන්න හිතනවනේ 
හොඳම දේ තමා තීරණ ගැනීමේ අයිතිය පිරිමියාට ලබා දීම සහ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම විතරක් කෙල්ල බාර ගැනීම.. කෙල්ලෝ නම් මේකට එච්චර කැමති වෙන එකක් නෑ හැබැයි.. 
ඒ උනත් කෙල්ල කොල්ලට අණ කරන්න යාමෙන් වෙන්නේ කොල්ලගේ හිතේ පොඩි හරි අමනාපයක් හට ගන්න එක.. "උඹ ගෑනිගේ පදේට නටනවා..." කියල කව්රු හරි කිව්වොත් ඉතින් සදා සොත්ති.. 
තමන්ට තමන්ගේ Affair එක ඇතුලේ තැනක් නෑ කියන දේ ඔලුවට ආවත් එක පෙන්නන්නේ නෑ කොල්ලෝ.. ඒත් යටි හිතේ එක තියාගෙන සෑහෙන්න කල්පනා කරනවා.. ඒක අනාගතයට හොද දෙයක් නමෙයි කියලයි මම නම් හිතන්නේ..

දෙවසරකින්

මනෝ වෛද්‍යවරු වගේම ගොඩක් පවුල් සම්බන්දතා උපදේශකයෝ කියන දෙයක් තමා පෙම්වතුන්ගේ උන්මාදයත් ප්‍රේමයත් විවාහ වී දෙවසරක් ගෙවෙත්ම නිමාවට පත් වෙන බව.
අහසෙන් පොළොවට වැටෙන්නේ ඊට පස්සේ තමා..  දෙන්නගේ පොඩි පොඩි වැරදිත් පෙන්න පටන් ගන්නෙ එතකොට. "මදෑ කරගත්ත!!!"  කියල හිතෙන්නේ ඊට පස්සේ තමා.. wife තමන්ව අනවශ්‍ය විදිහට control කරනවා කියල තේරෙන්නේ ඊට පස්සේ තමා..
ඔය ප්‍රශ්න වලට හොඳම විසඳුම තමා wife හැම වේලාවෙම husband ට මූලිකත්වය දෙන එක.. ගෑනු කෙනෙක්ට අදහස් හා තීරණ ගැනීමේ අයිතියක් නෑ කියල මම කියන්නෙ නෑ.. ඒත් අවසාන තීරණේ ගන්න අයිතිය තමන්ගේ husband ට දෙන එක තමා කල යුත්තේ... තමන්ට මූලිකත්වය ලබා දීම තුලින් කොල්ලත් මාරම විදිහට තමන්ගේ wife ට නැත්නම් පෙම්වතියට ආදරය කරනවා..

පට්ටම පවුල් ජීවිතෙකට.. ලස්සන අනාගතෙකට මේකත් එක සාධකයක් කියල මතක තියාගන්න.


කල් ගිහින් මේ වෙනස්කම් වලට ලක් වෙන්න ගිහාම තවත් ප්‍රශ්න.. කෙල්ල හිතන්නේ කොල්ලව කොල්ලගේ පැත්තේ කට්ටිය නටවනවා කියල. කොල්ල හිතන්නේ එකේ අනිත් පැත්ත. . ඒක නිසා කරන්න තියන හොඳම දේ තමයි ගන්න හැම තීරණයක්ම දෙන්නත් එක්ක කතා වෙලා ගන්න එක. අවසාන තීරණය පිරිමියා සතු කිරීම.. හැබැයි එහෙමයි කියල කොල්ලත් අනවශ්‍ය විදිහට කෙල්ලව පාලනය කරන එක කරන්න හොඳ නෑ.. මොකද ගැහැනුන් ටත් තීරණ ගැනීමේ අයිතියක් තියනවා.. ඒකට ඇඟිලි ගහන්න ඒක වෙනස් කරන්න කාටවත් බෑ...ඒක නිසා මේ හැම දෙයක් ගැනම හොඳට හිතල බලලා ලස්සන පවුල් ජීවිතෙකට ලස්සන අනාගතෙකට යන්න පාර කපා ගන්න හැමෝම හිතට ගනිමු...  !!!

- See more at: http://www.mysithiwili.com/2014/01/controlling-boy-by-his-gf.html#sthash.lVx2BjV6.dpuf

ආදරය ගැන නොදන්නා කරුණු කිහිපයක්

ආදරය ගැන නොදන්නා කරුණු කිහිපයක්


  • ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
  • තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ

  • ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි
 
  • ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්

  • හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය

  • ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.

  • ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය


  • හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම

  • නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න

  • ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.

  • ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි

  • ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි ආදරේ කවදාහරි තමුන්ව හොයාගෙන එනවාමයි

  • ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . . ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ

  • ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි

  • ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි

  • ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ, කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා

  • බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්

  • ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි, ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි

  • ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි

  • ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි

  • කියාගන්න බැරි, තේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි

  • අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි, අවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්, ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්

  • ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.

  • හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්

  • තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා

  • ආදරය තියෙන තැන දුක වැඩියි, දුක වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවෙන ආදරෙත් වැඩියි

  • ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්, ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවා, ඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න

  • මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයි, ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න

  • මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්

  • ආදරය සුන්දරයි, තමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑ, ඒක ස්ථිරයි, සදහටම එහෙමයි

  • ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්

  • ආදරේ කියන්නේ හිතට දැනෙන, හරිම සංවේදී, ලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගාගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා

  • ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ, හැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා

  • අපි ආදරය කරන්න ඕන, අපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා.

  • සෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනව, සෑම සත්‍යක්ම අහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම සෑම ආදරයක්ම ලබන්න, උරුමකම් කියන්න කොහෙ හරි හදවතකුත් තියනව.

  • ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ, ලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ.

  • ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා.

  • ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ, ආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්, පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ.

  • ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකි, තවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.

  • හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරය කරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා.
.
  • මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි.

  • තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාම, පාළුව මැකෙනවා නම් එයා ළග ඉන්න කොට, මග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්.

  • ජිවිතයේදි කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි.

  • ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි.

  • සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයි, ඒ තමුන් ආදරය කරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.

  • ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.

  • ආදරය යනු භූමිකම්පාවක් වැනිය, මුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ.

  • සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි
- See more at: http://www.mysithiwili.com/2014/01/blog-post_4024.html#sthash.XWZhq0F0.dpuf

ඔබ සැබෑ ආදරය කරන්නෙක්ද?

ඔබ සැබෑ ආදරය කරන්නෙක්ද?


සැබෑ ආදරය සොයන ඒ වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට සූදානම් බොහෝමයක් අප අතර ඉන්නවා.  ඒත් ඇත්තටම මේ සැබෑ ආදරය මොකක්ද?  ජීවිතය වුණත් පුද කරන්නට සූදානම් වෙන්නේ අවංකවම ජීවිත කාලය පුරාවටම තමන් ලගින්ම ඉන්න තමන්ට පංච කාම ආශ්වාදය ලබාදෙන්නට හැකි සහකාරයෙක් හෝ සහකාරියකුටයි එහෙම නේද?  ඒ වගේ කෙනෙක්ව සසර පුරාවටම පතන්නට තමයි අප හැමෝගෙම කැමැත්තත් එහෙම නේද?
දැන් ඉතින් ඔබ මේ කියන්නා වූ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරියට අවංකවම සැබෑවටම ආදරය කරනවා නම් හෝ ඔබ එවැන්නෙක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් හිතලා බලන්නට කරුණු  කාරණා කීපයක් කියන්නම්කෝ.
අවංක ආදරයක් තියෙන දුකට සැපට ඔබ ලගින්ම ඉන්න ඔබගේ සහකාරයාව / සහකාරියව නැවත නැවත ඔබ පතනවා නම් එකිනෙකාව පංච කාම ආශ්වාදයන්ගෙන් මත්කරවමින් සතුටු කරවමින් මොහොතක සුවයක් ලබාදෙනවා නම් එයම ආදරය යැයි කියමින් සැනසෙනවා නම් ඒ විතරක් නෙවේ එසේ තමන් ලඟින්ම සිටිමින් තමන්ට ආදරයක් පෙන්වන්නේ නෑය තමන්ගේ ඇසට ඒ ප්‍රිය රූපයන් ලබාදෙමින් සතුටු කරවන්නේ නෑය, තමන්ට ආදර වදන් කියන්නේ නෑය, තමන්ව ස්පර්ශයෙන් ආදියෙන් සතුටු කරන්නේ නෑය කියලා තැවෙනවා නම් ඒ අනුව ගැටීමටත් ලක්වෙනවා නම් ඒවා කරන්නටැයි කියලා පොළඹවනවා නම් එසේ කරන්නා වූ සහකාරිය හෝ සහකාරයාම තමයි ඉතාමත් වටිනා සහකරුවා සහකාරිය මතු මතුත් එවැන්නෙක්ම ලැබිය යුතුයි ලෙසින් පතනවා නම් දැන් ඉතින් ඔන්න ගැටලුවක් තියෙනවා.  මොකක්ද මේ ගැටලුව?
ගැටලුව තමයි ඔබ ඇත්තටම මේ කියන්නා වූ තමන්ගේ සහකාරයාට සහකාරියට ආදරයක් නම් නෑ කියලා තමයි ඉහත දේවල් තුලින් අදහස් වෙන්නේ.  ඒ කොහොමද එහෙම වෙන්නේ... පුදුම කථාවක්නේ මේ කියන්නේ කියලා ඔබට හිතේවි.  ආදරය ගැන හරි හැටි දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ කියලාත් සමහර විට කියාවි.  එහෙම නම් පොඩ්ඩක් මෙන්න මේ ගැනත් තම තම නැණ පමණින් හිතලා බලන්නකෝ. 
Lovers _of _Turuel
මේවගේ අංවක සෑබෑ ආදරයේදී ඔබ හිතලා බලන්න ඔබ ඇත්තටම කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කරනවා නම් තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරිය මිය යනවට ඔබ කැමතිද?  ඒ සහකරුවා හෝ සහකාරිය රෝගාතුර වෙනවට කැමතිද? එහෙමත් නැතිනම් අනතුරකට ලක්වෙනවට ඔබ කැමතිද?  එහෙමත් නැතිනම් මොනයම් හෝ ජීවිතයේදී හමුවන ගැටලුවක් හමුවේ අසහනයට පත්වෙනවට දුකට පත්වෙලා කම්පාවට පත්වෙලා ඉන්නවට ඔබ කැමතිද?  මම නම් කැමති නෑ.  ඇයි?  තමන් කෙනෙකුට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒ අය දුකට පත්වෙනවාට අසහනයට පත්වෙනවාට මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවාට කැමති වෙන්න විදියක් නෑනේ නේද?  ඒත් ඉහත වැඩපිලිවෙල ඒ කියන්නේ සැබෑම අවංක ආදරය ලෙසින් ලෝකයා පිළිගන්නා වූ ඔබ පිළිගන්නාවූ ඉහත කෙටියෙන් සටහන් තැබූ ආකාරයේ ආදරය ඔබ පණටත් වැඩියෙන් ආදරය කරනවා යැයි කියන්නාවූ ඔබගේ සහකාරයාව සහකාරියව මරණයට පත්කරන්නට මරණය හා සමාන දුකකට පත්කරන්නට හේතුවෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතන්නට නැතිව ඇති නේද?
මතු මතුත් පතනවා කියන්නේ අප ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදීමක්... ඉපදීමක් තියෙනවා නම් නැවතත් වෙනස්වීමට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා... නැවතත් අනතුරු වලට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් වයසට යෑමේ දුර්වල වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් මරණයට පත්වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... මේ හැමදේකටම වැඩියෙන් මොහොතක් මොහොතක් පාසා ඇතිවන්නා වූ මානසික පීඩාවන් දුක කම්පාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා. 
දැන් ඉතින් හිතන්න... සැබෑවටම ආදරය කරනවා කියලා ඔබ ඇත්තටම කරන්නේ බොහෝම ආත්මාර්ථකාමීදෙයක්...  අවංකවම ආදරය කරනවා කියලා පණ වුණත් දෙන්නට කැමැතියි කියලා මොහොතක සුවයක් ලබාදෙන්නා වූ පංච කාම ආශ්වාද ලැබීමේ අරමුණින් යුතුව ඔබ කරන්නේ මහා අසාධාරණයක්...  ඉතින් හිතලා බලන්න ඔබ ඇයි මේච්චරටම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියලා...
ඔබට මොහොතකටවත් ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන පිනවාගන්නට නොහැකිවීමේ දුක උහුලාගන්නට නොහැකි නිසාවෙන් ඔබ ඔබගේ සහකාරයාව සහකාරියව ඉහත කිව්වා වගේ මරණය සහ මරණය සමාන දුකකට පත්වෙන්නට යොමුකරවනවා.  ඉතින් මෙය ආත්මාර්ථකාමීත්වය නෙවේද?  සමහර වෙලාවට සැබෑ ආදරය හිමි කරගැනීමම නෙවේ කියලා තවත් කෙනෙක් සමග මේ කියන්නා වූ ආශ්වාද වැඩපිළිවෙල ලබන්නට ඔබ ඔබගේ සහකරුවාට සහකාරියට තමන් කැමැති වෙනත් කෙනෙක් සමග යෑමට උපකාරයක් වෙනවා... මේ ආකාරයෙන් නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ සැබෑ ආදරය කියලා පෙන්වන්නේ පංච කාම ආශ්වාදය ලබන්නට තම තමන්ගේ ඇති කැමැත්තමයි නෙවේද කියලා දැන් ඉතින් බුද්ධිමත් ඇත්තෝ ඔන්න හිතලා බැලීම සුදුසුයි.  මේ ආශ්වාද මාත්‍රය අහිමිවීම නිසාම සියදිවි නැතිකරගන්නටත් පෙළඹෙන ඇත්තෝ ඉන්නවා නේ නේද?
එහෙනම් ඉතින් සැබෑ ආදරයක් අංවකවම ආදරයක් තියෙනවා නම් ඒ ආදරය කුමක් විය යුතුයිද?  එය ඇත්තටම ආධාර කිරීමක් විය යුතුයි.  සහාය දීමක්... කුමකටද මේ ආධාර කිරීම සහාය දීම සිද්ධ විය යුත්තේ?  තමන් ජීවිතයටත් වඩා තමන් ප්‍රියකරන්නා වූ ආදරය කරන්නාවූ ඒ පුද්ගලයාට මරණයෙන් නිදහස් වීමට, මරණය සමාන දුක් වලින් නිදහස් වීමට, මානසික අසහනයන්ගෙන් නිදහස් වීමට, වයසට යෑමෙන් ලෙඩ රෝග ආදියෙන් නිදහස් වීමට උපකාර කල යුතුයි... එයම නොවේද සැබෑවටම යමෙක් තවත් කෙනෙකුට ආදරයක් තියෙනවා නම් කල යුත්ත?  එයම නොවේද සහකාරයා හෝ සහකාරියගේ සැබෑම සහාය?  ටිකක් හිතලා බලන්න... ටිකක් නොවේ ගොඩක් හිතලා බලන්න... මෙන්න මේ කැපකිරීම ඔබට කරන්නට හැකි නම් ඔබගේ සහකාරයා / සහකාරිය විතරක් නෙවේ ඔබටත් මේ කියන්නා වූ සියලු දුක් කන්දරාවන්ගෙන් මිදෙන්නට හැකිවේවි.
6534_1161616771442_1558519987_30426181_6042211_n
එහෙනම් කල යුත්ත කුමක්ද?  ඔබගේ සහකාරයාට සහකාරියට මේ සියලු දුකෙන් මිදෙන්නට උපකාර වන්නා වූ ප්‍රඥාවන්ත ධර්මය දරන්නට ඔබට හැකි උපරිමයෙන් කටයුතු සලසා දෙන්න... ඔබට හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් සහායක් වන්න...  ඔබ බෞද්ධ කාන්තාවක් බුද්ධ චරිතය අසා දන්නා කාන්තාවක් නම් නිතරම ඔබට සිහියේ තබාගන්නට හැකි සැබෑම ආදරයක් පෙන්වූ කාන්තාවක් ඉන්නවා.  ඒ තමයි යශෝධරාව.  තමන්ගේ සහකාරයාට සැබෑවටම සහාය දුන්න සැබෑම අවංකවම ආදරය කල සැබෑම සහකාරියක් තමයි ඇය.  ඉතින් ඒ නිසාම ඇයටත් එහි ඵල නෙලාගන්නට හැකියාවක් ලැබුණා කියලා අප දන්නවා. 
ඉතින් මේ දේවල් ගැන තම තම නැණ පමණින් හොදින් විමසා බලා විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දූ දරුවන්  සහෝදර සහෝදරියන් මේ ගැන වඩාත් උනන්දුවෙන් සිතා බලා නිසි ලෙසින් කටයුතු කරන්නට උත්සාහ කරන්න.  සැබෑම සහකාරයෙක් සහකාරියක් ආදරයක් ඇති පුද්ගලයෙක් වෙන්නට ඔබගේ ප්‍රඥාවන්තභාවය අනුව ඔබට හැකිවේවි.  මේ බුද්ධිමත්භාවය ප්‍රඥාවන්තභාවය තමන් තුල වැඩෙන තරමටම ඔබට ගිහි පරිසරයක් තුල විවාහක පරිසරයක් තුල වුවත් ප්‍රඥාවන්තව අතහැරීම නොඇලීම මිදීම හෙවත් සැබෑ සතුට හිමිකරගැනීමේ නිවන් මාර්ගය පුහුණු කරන්නට ප්‍රඥාව පූර්ණය කරගැනීමට බාධාවක් නොවේවි. 
ඇමට ඇති කැමැත්ත නිසාම ඒ ආශ්වාද ලබන්නට ගොස්  මාළුවා ඇමක් ගිලදමාගෙන මරණය හෝ මරණය සමාන දුකට පත්වෙනවා වගේ මොහොතක සුවයක් ලබන්නට පංච කාම ආශ්වාද ලබන්නට තමන්ගේ සහකාරයාව හෝ සහකාරියව ඇමක් බවට පත්කරගැනීමෙන් ඔබට මරණය සහ මරණය සමාන දුකක් ඇතිකරගන්නවා පමණක් නෙවේ තමන් ඇමක් බවට පත්වෙලා ඒ තමන් ආදරය කරනවා යැයි කියන්නා වූ තමන්ගේ සහකාරයටත් සහකාරියටත් ඒ ඇම ගිලින්නට ඉඩ පහසුකම් ලබාදී ඔවුන්වත් මරණය සහ මරණයට සමාන දුකට පත්කිරීමට ලෝකයේ සැබෑ අවංක ආදරය කියන්නා වූ දේ තුල සිද්ධ වෙනවා.  ඉතින් මේ හැඟීම් වලට වහලෙක් නොවී... තමන්ගේ සිතට වහලෙක් නොවී... තමන්ගේ කයට වහලෙක් නොවී... වහල් භාවයෙන් මිදෙන්න... තමන්ගේ සහකාරයා / සහකාරියවත් එයින් මුදවාගන්නට බුද්ධිමත්ව සැබෑම මිනිසෙක් වශයෙන් කටයුතු කරන්නට ඔබට තිසරණයේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!

Saturday, April 19, 2014

ආදරය, විවාහය, දෙමව්පියන් හා කුළය

අද කියන්න යන්නේ ආදරය හා විවාහය ගැන මම දරන අදහසක්.  කසාදයක් කරගන්න ගියාම එන ප්‍රශ්නයක් ගැන. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනෙ. කුළ ප්‍රශ්නෙ ගැන තමයි කියන්න යන්නෙ. ආගම්, ජාති ප්‍රශ්නෙට වඩා ගොඩක් දරුණුවට බලපාන ප්‍රශ්නයක් තමයි ඔය කුළ ප්‍රශ්නෙ. ඇයි ඉතින් ආගම්, ජාති තියෙන්නෙ තුන හතරයි, ඒත් කුළ කීයක් නම් තියනවද? සිංහල අපිට 18ක්ම තියනව. මම දන්න විදියට මුස්ලිම් අයගෙත් ඔය වගේ කුළ බෙදීමක් තදින්ම තියනව. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න.) අනිත් ජන වර්ග ගැන නම් දන්නෙ නෑ. එතකොට කසාදෙකට ආගම හරි ජාතිය හරි හරස් වෙනවට වඩා වැඩි සම්භාවීතාවක් තියනව කුළය හරස් වෙන්න.

මම අපේ අයියගෙ කතාව කියලම පටන් ගන්නම්. ඒ කිව්වෙ ලොකු අම්මගෙ පුතා.  ලොකු අම්මලගෙ ගෙදර තියෙන්නෙ අපෙ ගෙදරට පාරෙන් එහා පැත්තෙ. (මම මේක මධුරංගගෙ පෝස්ට් එකෙත් කමෙන්ට් එකක් විදියට කෙටියෙන් දැම්ම.)  මිනිහ TTI එකේ ඩිප්ලෝමා එකක් කරන්න ගියා. ඒකෙ තුන් හතර පාරක්ම ට්‍රේනින් දානවනෙ. එක පාරක් වැටිල තිබුන වෝටර් බෝඩ් එකේ සයිට් එකකට. එතනදි මිනිහට කෙල්ලෙක් සෙට් වෙලා. කොහොම හරි ඒක ආදර සම්බන්ධයක් දක්වාම ගිහින්. ඉතින් දෙන්න ඔහොම ඉන්නකොට අපේ එකාට බැංකුවකට පැනගන්න චාන්ස් එකක් ආව. විභාග, සම්මුඛ පරීක්ෂණ හය හතකින් පස්සෙ මිනිහව තේරුණා. මිනිහ TTI එක අතෑරල බැංකුවට ගියා. ඔහොම මාස දෙක තුනක් ගෙවුන. අර අක්ක පළවෙනි පාර A/L කරල හිටියෙ. හොඳ රිසල්ට් එකක් තිබිල නෑ. ආයෙත් විභාගෙ කරන්න තරම් ගෙදරට වත්කමක් තිබිල නෑ. ඒක නිසා වෝටර් බෝඩ් එකේ පොඩි රස්සාවක් තමයි කර කර ඉඳල තියෙන්නෙ. ඒ පාර අපේ එකා කියල ආයෙත් විභගෙ කරන්න ඌ වියදම් කරන්නම් කියල. මිනිහට දැන් රස්සාවකුත් තියනව නෙ. ඊට පස්සෙ අක්ක ආයෙත් විභාගෙ කලා. රිසල්ට් එනකල් අපේ එකා ඌගෙ බැංකුවෙ පොඩි ටෙම්පරි ජොබ් එකකුත් සෙට් කරල දුන්න.  දෙවනි පාර සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තිබුනලු. ඒ පාර මිනිහ කොහොම හරි අක්කව වෙන බැංකුවකට දාගත්ත. මේ ටික මාතෘකාවට අදාල නෑ, ඒත් පසුබිම විස්තර කරල ඉන්න එක හොඳයි නෙ.

ලොකු අම්මගෙ මහත්තය, ඒ කියන්නෙ අයියගෙ තාත්ත නැති වුනේ අයියල පොඩි කාලෙ. දැන් ඔතන ප්‍රශ්නෙ ඇති වුනේ ඒ අක්කගෙ කුළේ නිසා. ලොකු අම්මයි, අයියයි ගොවි කුලේ. ඒ අක්කගෙ කුලේ නම් මම දන්නෙ නෑ, හැබැයි ලොකු අම්මට ඒක මදිලු. ලොකු අම්ම ඕක දැනගත්ත වෙලාවෙම කෙලින්ම විරුද්ධ වුනා. අයිය දන්න හැම විදියටම ලොකු අම්මව කැමති කරගන්න හැදුව, ඒත් බැරි වුනා. අයිය අපෙ පවුලෙ අනිත් අයටත් ඔය ගැන කිව්ව. අනිත් අය හැමෝම වගේ අකමැත්තක් තිබුනෙ නෑ. දැන් කාලෙ ඔය වගේ දේවල් බලන එක තේරුමක් නෑ කියලයි කවුරුත් කිව්වෙ. ඒත් ලොකු අම්ම හිටපු දැඩි විරුද්ධවාදී ආකල්පය නිසා කවුරුවත් ඔය ගැන ලොකු අම්ම එක්ක වැඩිය කතා කරන්න ගියේ නෑ. මම අයියට කියල තිබුනෙ ඔය කුල මල හෙවිල්ල නම් මහ විකාර වැඩක්, මම නම් කොහොමවත් අනුමත කරන්නෙ නෑ කියල. අර ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියනවනේ, මිනිහ ලොකු අම්මට කියල මල්ලිත් මෙහෙම කිව්ව කියල. අනේ ලොකු අම්ම අපෙ අම්මත් එක්ක අසරණ මටත් බැනල තිබුන.

ඒ කාලෙ ඌට අවුරුදු 26ක් 27ක් විතර ඇති. රස්සාවක් කරල තනියම හම්බ කරගෙන ස්වාධීනව හිටිය වුනත් අපේ ලොකු අම්මගෙ තීරණේ වෙනස් කරන්න ඌට බැරි වුනා. ඒ තරමට ලොකු අම්ම දැඩි තීරණයක හිටියෙ. කොහොම හරි අන්තිමට අයියට ඒ සම්බන්ධෙ නවත්තන්න වුනා. අවුරුදු 4ක් ආදරේ කරල අන්තිමට කුලේ නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වුනා. අපේ ලොකු අම්ම ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. සමාජෙත් එක්ක කොච්චර ගැටුනත්, කොයිතරම් දැන උගත්කම් තිබුනත්, ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගෙන තමයි ඉන්නෙ. ඒ අක්කගෙ ගෙදරින් මේ සම්බන්ධෙ ගැන දන්නව. ඒ ගෙදර අය නම් කැමති වෙලා හිටියෙ. අයිය ඒ දවස් වල ඒ ගෙදරත් යනව. පස්සෙ බැරිම තැන අයිය ඒ ගෙදර අයට පැහැදිලි කරල දුන්න අම්ම කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ කියල. ඒ ගෙදර අයත් ඒක තේරුම් ගත්ත. ඒ අය කියල තිබුන "අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න බෑ නෙ, කමක් නෑ පුතා මේ සම්බන්ධෙ නවත්තන්න" කියල. ඒත් ඒ අක්ක කොහොමවත් කැමති වුනේ නෑ ඒකට. එයා කිව්වෙ අයියව ඕනමයි කියල. ඒත් අයියට කරන්න දෙයක් තිබුනෙ නෑ. මට මතකයි දවසක් අයිය ෆෝන් එක ඕෆ් කරන් හිටිය අක්ක කෝල් කරන නිසා. ඒ පාර අක්ක ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒ වෙලාවෙ අයිය අක්කට හොඳටම බැන්න. මාත් එතන හිටියෙ. මට ඒ වෙලාවෙ නම් හොඳටම අප්සට්. බැනල බැනල ෆෝන් එක තියල බොහොම අමාරුවෙන් ඌ කඳුලු තද කරගෙන හිටිය.

මට තාම මතකයි ලොකු අම්ම අන්තිම තීරණේ දීපු වෙලාවෙ, ඌ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මාව හම්බවෙන්න ආපු හැටි. මිනිහ කෙලින්ම ආවෙ මාව හම්බ වෙන්න. ඌට මොනවත් කතා කරගන්න බැරි වුනා. මටත් මොනවත් අහන්න උවමනා වුනේ නෑ, උගේ ඇස් දෙකේ උත්තරේ තිබුන. ලොකු අම්ම කියල තිබුන ඒ කෙල්ලව ගෙනාවොත් ලොකු අම්ම වස බොනව කියල. මම ඒක දැනගත්තෙ පස්සෙ. එදා ඒ ගැන කතාව ඉවරෙටම ඉවර වුනා. ඒ අක්ක අන්තිමට එවපු මැසේජ් එක මගේ ලඟ මෑතක් වෙනකල්ම තිබුන. මොකක් හරි හේතුවක් නිසා ඌ ඒ වෙලාවෙ මගේ ෆෝන් එකට සිම් එක දාගත්ත. ඒ මැසේජ් එක කොච්චර ලොකුද කියනව නම් දෙපාරකට එවල තිබුනෙ. ඒකෙ අන්තිමට තිබුන "මට ජීවිතයක් දුන්නෙ ඔයා, මම කවදාවත් ඒක අමතක කරන්නෙ නෑ. ඒ හැම දේකටම ගොඩක් ස්තූතියි. මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ. ඔයා හැමදාම හොඳින් ඉන්න." කියල. (ගිය අවුරුද්දෙ ෆෝන් එකේ අවුලක් වෙලා රීසෙට් කලා, ඒ වෙලාවෙ තමයි ඕක නැති වුනේ.) ඇත්තටම අපේ අයිය නිසා ඒ අක්කට හොඳ ජීවිතයක් ලැබුන. දෙවනි පාර විභාගෙ කරවල බැංකුවක හොඳ රස්සාවකට දැම්මෙ අපේ එකා. ඒත් ඒ හැම දේටම වඩා ජීවිතේ ලස්සන කරන්න පුලුවන් ආදරේ අන්තිමට නොලැබී ගියා.

ඇයි මිනිස්සු මෙච්චරම මේ කුලේ කියන දේ ගැන හොයන්නෙ? ඕක ගැලපුනා කියල මොකක්ද ඇති වැඩේ? අවුරුදු 4ක ආදරයක් නැති කරල දන්න තරම් ඕක වටිනවද? අයියගෙ සතුටට වැඩිය ලොකු අම්මට කුලේ ලොකු වුනාද? අම්ම කෙනෙක්ගෙ ආදරය කියන්නෙ ඕකද? මේ ප්‍රශ්න වලට මට තාම උත්තර හොයගන්න බැරි වුනා. සමහර විට කවදාවත් හොයා ගන්න බැරි වේවි.

අපි ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. ඒත් තාමත් මේ වගේ කිසිම වැඩකට නැති දේවල් ගැන මිනිස්සු හොයන එක නම් බොහොම කණගාටුවට කරුණක්. බුද්ධිමත් කියල සැලකෙන මිනිස්සු පවා ඔය විකාර ගැන හිතනව. ඇයි දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් කුල ප්‍රශ්නයක් අමතක කරන්න බැරි? දෙමව්පියො දරුවො වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරනවද? ඇයි මෙතනදි තමන්ගෙ මහන්තත්තෙ දරුව වෙනුවෙන් කැප කරන්න බැරි? ඇයි තමන්ගෙ දරුවන්ගෙ හැඟීම් ගැන මෙතනදි විතරක් අම්මල තාත්තල අමතක කරන්නෙ? දරුවන්ගෙ ජීවිතේට නරකක් වෙන පවුලක් එක්ක දරුව එකතු වෙන්න හදන එක නවත්තනව කියන්නෙ වෙනම කතාවක්. මොකක් හරි එහෙම හේතුවක් තියනව නම් ඒක කොහොම හරි නවත්තන්න ඕන. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් අඩු කුලේක පවුලක් එක්ක එකතු වුනා කියල දරුවගෙ ජීවිතේට වෙන්න පුලුවන් හානියක් නරකක් ගැන නම් මට හිතා ගන්න බෑ. (ඇත්තටම එහෙම හානියක් වෙනව නම් කවුරු හරි මට ඒක කියල දෙන්න.) එකම හානිය වෙන්නෙ දෙමව්පියන්ගෙ පුහු මහන්තත්තෙට. මම නම් දකින එකම හේතුව ඒක විතරයි ඔය වගේ විරුද්ධ වීම් වලට. ඒ කියන්නෙ දෙමව්පියො තමන්ගෙ ගැන විතරක් හිතලමයි ඔය වගේ තීරණ ගන්නෙ. වෙන විදියකින් කියනව නම් දරුවො වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කියන දෙමව්පියො තමන්ගෙ තත්ත්වය ආරක්ෂා කරගන්න දරුවන්ගෙ සතුට, දරුවන්ගෙ ජීවිත විනාස කරනව. ළමයින්ගෙ සතුට වෙනුවෙන් ඔය දේ අමතක කරල දාන දෙමව්පියො ඕන තරම් ඉන්නව. මාත් එහෙම ගොඩක් අවස්ථා අහල තියනව.  ඒත් හැමෝම එහෙම නෑ නෙ. හැමෝම එහෙම වුනානම් කොච්චර හොඳද.

ඌ පවුලෙ වැඩිමල් කොල්ල. තව අක්කයි මල්ලියි තමයි පවුලෙ හිටියෙ. ලොකු අම්ම වැඩියෙන්ම ආදරේ කලේ ඔය අයියට. මිනිහට ඔලුවෙ කැක්කුමක් හැදුනත් ලොකු අම්ම පුදුම විදියට කරදර වෙනව. ඒත් ඔය ප්‍රශ්නෙදි මිනිහ සමහර වෙලාවට නොකා නොබී පවා හිටිය. ලොකු අම්ම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.  අර තිබුන ආදරේට මොනව වුනාද කියල හිතා ගන්න බෑ. අයියගෙ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්න උත්සහ කලේ නෑ. කොහොමහරි අන්තිමට ලොකු අම්මට ඕන දේ වුනා. කොල්ලෙක්ටත් ඔහොම නම් කෙල්ලො ගැන කුමන කතාද. හැබැයි ලොකු තාත්ත ජීවත් වෙලා හිටිය නම් සමහරවිට ඔහොම නොවෙන්න තිබුන.  ඔය කතාවෙ ලස්සනම කෑල්ලත් මම කියන්නම්. ලොකු අම්ම අයියගෙ හිත වෙනස් කරන්න ඉනාවක් පවා දීල තිබුන. එතකොට හිතාගන්නකො ඔය කුල ප්‍රශ්නෙ කියන එක ලොකු අම්මගෙ හිතේ කොච්චර තදින් කාවැදිල තියෙන්න ඇත්ද කියන එක. අපේ ලොකු අම්ම කියන්නෙ එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ මිනිස්සු සමාජයේ කොච්චර ඇද්ද? සංඝමිත්තා මෙහෙනින් වහන්සෙ දැනගෙන හිටිය නම් ඔය කුලය කියන එක ඔච්චර ප්‍රශ්නයක් වේවි කියල, කවදාවත් ලංකාවට දහාඅට ශ්‍රේණියේ මිනිස්සු අරගෙන එන එකක් නෑ.

අනිත් එක කොහොමද කියන්නකො යාලු වෙන්න කලින් කෙනෙක්ගෙ කුලේ දැන්ගන්නෙ? ආගම, ජාතිය නම් හොයාගන්න පුලුවන්. මුස්ලිම් නම් ලේසියෙන්ම අඳුනගන්න පුලුවන්. නැත්තන් වටපිටාවෙන් හොයල බැලුවම අමාරුවක් නැතුව හොයා ගන්න පුලුවන්. යකෝ ඉතින් කුලේ කියන එක එහෙම හොයන්නෙ කොහොමද? අපේ ලඟම යාලුවගෙවත් කුලේ අපි දන්නවද? නෑ නෙ. ඒක නිසා ඉතින් යාලුවෙන්න කලින් ඒක හොයාගන්න විදියක් ඇත්තෙම නෑ. කොහොමත් තමන්ගෙ කුලය වුනත් ගොඩක් අය දන්නෙ නෑ නෙ. ඒකත් ඉතින් අම්මල තාත්තලගෙන්ම අහල තමයි දැනගන්න වෙන්නෙ.

තමන්ගෙ අම්මල තාත්තල තදින්ම කුල මල හොයන විදියෙ අය කියල තමන්ට තේරෙනව නම් හොඳම දේ තමයි, තමන් කාට හරි ආදරේ කරන්න පටන් ගන්නව නම් කලින්ම ඒ විස්තර හොයල ගැලපෙන කෙනෙක් හොයාගන්න එක. අදාල කෙනාගෙන්ම අහල හරි කමක් නෑ. ජෝක් නෙමෙයි, සිරාවටමයි කියන්නෙ. සම්බන්ධකම් වැඩි දුර යන්න කලින් ඒව හොයල බලන එක ඇඟට ගුණයි. මොකද ඔය කුල මල බේද වලින් අන්ධ වුන මිනිස්සුන්ට වෙන කිසිදෙයක් පේන්නෙ නෑ. කොච්චර ගැලපීම් තිබුනත් ඒ නොගැලපීම අමතක කරන්න ඔය වගේ ගොඩක් දෙනෙක් සූදානම් නෑ. අන්තිමට අවුරුදු ගානක් ආදරේ කරල නවත්තල දාන්න වේවි, අපේ එකාට වුනා වගේ. ඊට වඩා හොඳයි අම්මල තාත්තල එහෙමයි කියල දන්නව නම් කලින්ම හොයල බලල ගැලපෙන්නෙ නැත්තන් දෙපැත්තට වෙන එක.
අවසාන වශයෙන් අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේකයි. (බඳින වයසෙ ළමයි ඉන්න අම්මල තාත්තල නම් මේක කියවන එකක් නැති වෙයි. ඒත් හැමෝම කවද හරි ඒ තැනට එනවනෙ. ඒ නිසා මේ දේ හිතේ තියාගන්න.) ඔය කුල මළ වගේ වැඩකට නැති දේවල් නිසා දරුවෙක්ගෙ ආදරයක් නැති කරල දාන්න එපා. දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. තමන්ට කුලේ මහ ලොකු දෙයක් වුනාට දරුවන්ට වටින්නෙ තමන්ගෙ ආදරය. දරුවො වෙනුවෙන් හැම කැප කිරීමක්ම කරන්න පුලුවන් නම් බොරු මාන්නෙ, මහන්තත්තෙත් දරුවො වෙනුවෙන් කැප කරන්න. තමන්ගෙ දරුවට වඩා කුලේ ලොකු කරගන්න එපා. පොවපු කිරි වලට එච්චර ලොකු වන්දියක් ඉල්ලන්න එපා. ඒක මහ පව් වැඩක්.

ඔන්න ඔහොම තමයි ශාන්ට හිතෙන්නෙ. මේක කියවන අයගේ අදහසුත් දැනගන්න පුලුවන් නම් මම කැමතියි.

....................................................................................................................................................................

ප.ලි. කුල ප්‍රශ්නෙ ඇරුනම ඔය වගේ කතා කරන්න ඕන තව දේවල් තියනව. තව අපි දෙමව්පියන්ගෙ පැත්තෙන් හිතන්න ඕන දේවලුත් තියනව. මම ඒවත් ලියන්න හිටියෙ. ඒත් ඒවත් කියන්න ගියොත් දිග වැඩි වෙනව. ඒව ඊලඟ ලිපියෙන් කතා කරමු.