Saturday, April 19, 2014

ආදරය, විවාහය, දෙමව්පියන් හා කුළය

අද කියන්න යන්නේ ආදරය හා විවාහය ගැන මම දරන අදහසක්.  කසාදයක් කරගන්න ගියාම එන ප්‍රශ්නයක් ගැන. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනෙ. කුළ ප්‍රශ්නෙ ගැන තමයි කියන්න යන්නෙ. ආගම්, ජාති ප්‍රශ්නෙට වඩා ගොඩක් දරුණුවට බලපාන ප්‍රශ්නයක් තමයි ඔය කුළ ප්‍රශ්නෙ. ඇයි ඉතින් ආගම්, ජාති තියෙන්නෙ තුන හතරයි, ඒත් කුළ කීයක් නම් තියනවද? සිංහල අපිට 18ක්ම තියනව. මම දන්න විදියට මුස්ලිම් අයගෙත් ඔය වගේ කුළ බෙදීමක් තදින්ම තියනව. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න.) අනිත් ජන වර්ග ගැන නම් දන්නෙ නෑ. එතකොට කසාදෙකට ආගම හරි ජාතිය හරි හරස් වෙනවට වඩා වැඩි සම්භාවීතාවක් තියනව කුළය හරස් වෙන්න.

මම අපේ අයියගෙ කතාව කියලම පටන් ගන්නම්. ඒ කිව්වෙ ලොකු අම්මගෙ පුතා.  ලොකු අම්මලගෙ ගෙදර තියෙන්නෙ අපෙ ගෙදරට පාරෙන් එහා පැත්තෙ. (මම මේක මධුරංගගෙ පෝස්ට් එකෙත් කමෙන්ට් එකක් විදියට කෙටියෙන් දැම්ම.)  මිනිහ TTI එකේ ඩිප්ලෝමා එකක් කරන්න ගියා. ඒකෙ තුන් හතර පාරක්ම ට්‍රේනින් දානවනෙ. එක පාරක් වැටිල තිබුන වෝටර් බෝඩ් එකේ සයිට් එකකට. එතනදි මිනිහට කෙල්ලෙක් සෙට් වෙලා. කොහොම හරි ඒක ආදර සම්බන්ධයක් දක්වාම ගිහින්. ඉතින් දෙන්න ඔහොම ඉන්නකොට අපේ එකාට බැංකුවකට පැනගන්න චාන්ස් එකක් ආව. විභාග, සම්මුඛ පරීක්ෂණ හය හතකින් පස්සෙ මිනිහව තේරුණා. මිනිහ TTI එක අතෑරල බැංකුවට ගියා. ඔහොම මාස දෙක තුනක් ගෙවුන. අර අක්ක පළවෙනි පාර A/L කරල හිටියෙ. හොඳ රිසල්ට් එකක් තිබිල නෑ. ආයෙත් විභාගෙ කරන්න තරම් ගෙදරට වත්කමක් තිබිල නෑ. ඒක නිසා වෝටර් බෝඩ් එකේ පොඩි රස්සාවක් තමයි කර කර ඉඳල තියෙන්නෙ. ඒ පාර අපේ එකා කියල ආයෙත් විභගෙ කරන්න ඌ වියදම් කරන්නම් කියල. මිනිහට දැන් රස්සාවකුත් තියනව නෙ. ඊට පස්සෙ අක්ක ආයෙත් විභාගෙ කලා. රිසල්ට් එනකල් අපේ එකා ඌගෙ බැංකුවෙ පොඩි ටෙම්පරි ජොබ් එකකුත් සෙට් කරල දුන්න.  දෙවනි පාර සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තිබුනලු. ඒ පාර මිනිහ කොහොම හරි අක්කව වෙන බැංකුවකට දාගත්ත. මේ ටික මාතෘකාවට අදාල නෑ, ඒත් පසුබිම විස්තර කරල ඉන්න එක හොඳයි නෙ.

ලොකු අම්මගෙ මහත්තය, ඒ කියන්නෙ අයියගෙ තාත්ත නැති වුනේ අයියල පොඩි කාලෙ. දැන් ඔතන ප්‍රශ්නෙ ඇති වුනේ ඒ අක්කගෙ කුළේ නිසා. ලොකු අම්මයි, අයියයි ගොවි කුලේ. ඒ අක්කගෙ කුලේ නම් මම දන්නෙ නෑ, හැබැයි ලොකු අම්මට ඒක මදිලු. ලොකු අම්ම ඕක දැනගත්ත වෙලාවෙම කෙලින්ම විරුද්ධ වුනා. අයිය දන්න හැම විදියටම ලොකු අම්මව කැමති කරගන්න හැදුව, ඒත් බැරි වුනා. අයිය අපෙ පවුලෙ අනිත් අයටත් ඔය ගැන කිව්ව. අනිත් අය හැමෝම වගේ අකමැත්තක් තිබුනෙ නෑ. දැන් කාලෙ ඔය වගේ දේවල් බලන එක තේරුමක් නෑ කියලයි කවුරුත් කිව්වෙ. ඒත් ලොකු අම්ම හිටපු දැඩි විරුද්ධවාදී ආකල්පය නිසා කවුරුවත් ඔය ගැන ලොකු අම්ම එක්ක වැඩිය කතා කරන්න ගියේ නෑ. මම අයියට කියල තිබුනෙ ඔය කුල මල හෙවිල්ල නම් මහ විකාර වැඩක්, මම නම් කොහොමවත් අනුමත කරන්නෙ නෑ කියල. අර ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියනවනේ, මිනිහ ලොකු අම්මට කියල මල්ලිත් මෙහෙම කිව්ව කියල. අනේ ලොකු අම්ම අපෙ අම්මත් එක්ක අසරණ මටත් බැනල තිබුන.

ඒ කාලෙ ඌට අවුරුදු 26ක් 27ක් විතර ඇති. රස්සාවක් කරල තනියම හම්බ කරගෙන ස්වාධීනව හිටිය වුනත් අපේ ලොකු අම්මගෙ තීරණේ වෙනස් කරන්න ඌට බැරි වුනා. ඒ තරමට ලොකු අම්ම දැඩි තීරණයක හිටියෙ. කොහොම හරි අන්තිමට අයියට ඒ සම්බන්ධෙ නවත්තන්න වුනා. අවුරුදු 4ක් ආදරේ කරල අන්තිමට කුලේ නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වුනා. අපේ ලොකු අම්ම ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. සමාජෙත් එක්ක කොච්චර ගැටුනත්, කොයිතරම් දැන උගත්කම් තිබුනත්, ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගෙන තමයි ඉන්නෙ. ඒ අක්කගෙ ගෙදරින් මේ සම්බන්ධෙ ගැන දන්නව. ඒ ගෙදර අය නම් කැමති වෙලා හිටියෙ. අයිය ඒ දවස් වල ඒ ගෙදරත් යනව. පස්සෙ බැරිම තැන අයිය ඒ ගෙදර අයට පැහැදිලි කරල දුන්න අම්ම කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ කියල. ඒ ගෙදර අයත් ඒක තේරුම් ගත්ත. ඒ අය කියල තිබුන "අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න බෑ නෙ, කමක් නෑ පුතා මේ සම්බන්ධෙ නවත්තන්න" කියල. ඒත් ඒ අක්ක කොහොමවත් කැමති වුනේ නෑ ඒකට. එයා කිව්වෙ අයියව ඕනමයි කියල. ඒත් අයියට කරන්න දෙයක් තිබුනෙ නෑ. මට මතකයි දවසක් අයිය ෆෝන් එක ඕෆ් කරන් හිටිය අක්ක කෝල් කරන නිසා. ඒ පාර අක්ක ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒ වෙලාවෙ අයිය අක්කට හොඳටම බැන්න. මාත් එතන හිටියෙ. මට ඒ වෙලාවෙ නම් හොඳටම අප්සට්. බැනල බැනල ෆෝන් එක තියල බොහොම අමාරුවෙන් ඌ කඳුලු තද කරගෙන හිටිය.

මට තාම මතකයි ලොකු අම්ම අන්තිම තීරණේ දීපු වෙලාවෙ, ඌ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මාව හම්බවෙන්න ආපු හැටි. මිනිහ කෙලින්ම ආවෙ මාව හම්බ වෙන්න. ඌට මොනවත් කතා කරගන්න බැරි වුනා. මටත් මොනවත් අහන්න උවමනා වුනේ නෑ, උගේ ඇස් දෙකේ උත්තරේ තිබුන. ලොකු අම්ම කියල තිබුන ඒ කෙල්ලව ගෙනාවොත් ලොකු අම්ම වස බොනව කියල. මම ඒක දැනගත්තෙ පස්සෙ. එදා ඒ ගැන කතාව ඉවරෙටම ඉවර වුනා. ඒ අක්ක අන්තිමට එවපු මැසේජ් එක මගේ ලඟ මෑතක් වෙනකල්ම තිබුන. මොකක් හරි හේතුවක් නිසා ඌ ඒ වෙලාවෙ මගේ ෆෝන් එකට සිම් එක දාගත්ත. ඒ මැසේජ් එක කොච්චර ලොකුද කියනව නම් දෙපාරකට එවල තිබුනෙ. ඒකෙ අන්තිමට තිබුන "මට ජීවිතයක් දුන්නෙ ඔයා, මම කවදාවත් ඒක අමතක කරන්නෙ නෑ. ඒ හැම දේකටම ගොඩක් ස්තූතියි. මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ. ඔයා හැමදාම හොඳින් ඉන්න." කියල. (ගිය අවුරුද්දෙ ෆෝන් එකේ අවුලක් වෙලා රීසෙට් කලා, ඒ වෙලාවෙ තමයි ඕක නැති වුනේ.) ඇත්තටම අපේ අයිය නිසා ඒ අක්කට හොඳ ජීවිතයක් ලැබුන. දෙවනි පාර විභාගෙ කරවල බැංකුවක හොඳ රස්සාවකට දැම්මෙ අපේ එකා. ඒත් ඒ හැම දේටම වඩා ජීවිතේ ලස්සන කරන්න පුලුවන් ආදරේ අන්තිමට නොලැබී ගියා.

ඇයි මිනිස්සු මෙච්චරම මේ කුලේ කියන දේ ගැන හොයන්නෙ? ඕක ගැලපුනා කියල මොකක්ද ඇති වැඩේ? අවුරුදු 4ක ආදරයක් නැති කරල දන්න තරම් ඕක වටිනවද? අයියගෙ සතුටට වැඩිය ලොකු අම්මට කුලේ ලොකු වුනාද? අම්ම කෙනෙක්ගෙ ආදරය කියන්නෙ ඕකද? මේ ප්‍රශ්න වලට මට තාම උත්තර හොයගන්න බැරි වුනා. සමහර විට කවදාවත් හොයා ගන්න බැරි වේවි.

අපි ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. ඒත් තාමත් මේ වගේ කිසිම වැඩකට නැති දේවල් ගැන මිනිස්සු හොයන එක නම් බොහොම කණගාටුවට කරුණක්. බුද්ධිමත් කියල සැලකෙන මිනිස්සු පවා ඔය විකාර ගැන හිතනව. ඇයි දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් කුල ප්‍රශ්නයක් අමතක කරන්න බැරි? දෙමව්පියො දරුවො වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරනවද? ඇයි මෙතනදි තමන්ගෙ මහන්තත්තෙ දරුව වෙනුවෙන් කැප කරන්න බැරි? ඇයි තමන්ගෙ දරුවන්ගෙ හැඟීම් ගැන මෙතනදි විතරක් අම්මල තාත්තල අමතක කරන්නෙ? දරුවන්ගෙ ජීවිතේට නරකක් වෙන පවුලක් එක්ක දරුව එකතු වෙන්න හදන එක නවත්තනව කියන්නෙ වෙනම කතාවක්. මොකක් හරි එහෙම හේතුවක් තියනව නම් ඒක කොහොම හරි නවත්තන්න ඕන. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් අඩු කුලේක පවුලක් එක්ක එකතු වුනා කියල දරුවගෙ ජීවිතේට වෙන්න පුලුවන් හානියක් නරකක් ගැන නම් මට හිතා ගන්න බෑ. (ඇත්තටම එහෙම හානියක් වෙනව නම් කවුරු හරි මට ඒක කියල දෙන්න.) එකම හානිය වෙන්නෙ දෙමව්පියන්ගෙ පුහු මහන්තත්තෙට. මම නම් දකින එකම හේතුව ඒක විතරයි ඔය වගේ විරුද්ධ වීම් වලට. ඒ කියන්නෙ දෙමව්පියො තමන්ගෙ ගැන විතරක් හිතලමයි ඔය වගේ තීරණ ගන්නෙ. වෙන විදියකින් කියනව නම් දරුවො වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කියන දෙමව්පියො තමන්ගෙ තත්ත්වය ආරක්ෂා කරගන්න දරුවන්ගෙ සතුට, දරුවන්ගෙ ජීවිත විනාස කරනව. ළමයින්ගෙ සතුට වෙනුවෙන් ඔය දේ අමතක කරල දාන දෙමව්පියො ඕන තරම් ඉන්නව. මාත් එහෙම ගොඩක් අවස්ථා අහල තියනව.  ඒත් හැමෝම එහෙම නෑ නෙ. හැමෝම එහෙම වුනානම් කොච්චර හොඳද.

ඌ පවුලෙ වැඩිමල් කොල්ල. තව අක්කයි මල්ලියි තමයි පවුලෙ හිටියෙ. ලොකු අම්ම වැඩියෙන්ම ආදරේ කලේ ඔය අයියට. මිනිහට ඔලුවෙ කැක්කුමක් හැදුනත් ලොකු අම්ම පුදුම විදියට කරදර වෙනව. ඒත් ඔය ප්‍රශ්නෙදි මිනිහ සමහර වෙලාවට නොකා නොබී පවා හිටිය. ලොකු අම්ම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.  අර තිබුන ආදරේට මොනව වුනාද කියල හිතා ගන්න බෑ. අයියගෙ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්න උත්සහ කලේ නෑ. කොහොමහරි අන්තිමට ලොකු අම්මට ඕන දේ වුනා. කොල්ලෙක්ටත් ඔහොම නම් කෙල්ලො ගැන කුමන කතාද. හැබැයි ලොකු තාත්ත ජීවත් වෙලා හිටිය නම් සමහරවිට ඔහොම නොවෙන්න තිබුන.  ඔය කතාවෙ ලස්සනම කෑල්ලත් මම කියන්නම්. ලොකු අම්ම අයියගෙ හිත වෙනස් කරන්න ඉනාවක් පවා දීල තිබුන. එතකොට හිතාගන්නකො ඔය කුල ප්‍රශ්නෙ කියන එක ලොකු අම්මගෙ හිතේ කොච්චර තදින් කාවැදිල තියෙන්න ඇත්ද කියන එක. අපේ ලොකු අම්ම කියන්නෙ එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ මිනිස්සු සමාජයේ කොච්චර ඇද්ද? සංඝමිත්තා මෙහෙනින් වහන්සෙ දැනගෙන හිටිය නම් ඔය කුලය කියන එක ඔච්චර ප්‍රශ්නයක් වේවි කියල, කවදාවත් ලංකාවට දහාඅට ශ්‍රේණියේ මිනිස්සු අරගෙන එන එකක් නෑ.

අනිත් එක කොහොමද කියන්නකො යාලු වෙන්න කලින් කෙනෙක්ගෙ කුලේ දැන්ගන්නෙ? ආගම, ජාතිය නම් හොයාගන්න පුලුවන්. මුස්ලිම් නම් ලේසියෙන්ම අඳුනගන්න පුලුවන්. නැත්තන් වටපිටාවෙන් හොයල බැලුවම අමාරුවක් නැතුව හොයා ගන්න පුලුවන්. යකෝ ඉතින් කුලේ කියන එක එහෙම හොයන්නෙ කොහොමද? අපේ ලඟම යාලුවගෙවත් කුලේ අපි දන්නවද? නෑ නෙ. ඒක නිසා ඉතින් යාලුවෙන්න කලින් ඒක හොයාගන්න විදියක් ඇත්තෙම නෑ. කොහොමත් තමන්ගෙ කුලය වුනත් ගොඩක් අය දන්නෙ නෑ නෙ. ඒකත් ඉතින් අම්මල තාත්තලගෙන්ම අහල තමයි දැනගන්න වෙන්නෙ.

තමන්ගෙ අම්මල තාත්තල තදින්ම කුල මල හොයන විදියෙ අය කියල තමන්ට තේරෙනව නම් හොඳම දේ තමයි, තමන් කාට හරි ආදරේ කරන්න පටන් ගන්නව නම් කලින්ම ඒ විස්තර හොයල ගැලපෙන කෙනෙක් හොයාගන්න එක. අදාල කෙනාගෙන්ම අහල හරි කමක් නෑ. ජෝක් නෙමෙයි, සිරාවටමයි කියන්නෙ. සම්බන්ධකම් වැඩි දුර යන්න කලින් ඒව හොයල බලන එක ඇඟට ගුණයි. මොකද ඔය කුල මල බේද වලින් අන්ධ වුන මිනිස්සුන්ට වෙන කිසිදෙයක් පේන්නෙ නෑ. කොච්චර ගැලපීම් තිබුනත් ඒ නොගැලපීම අමතක කරන්න ඔය වගේ ගොඩක් දෙනෙක් සූදානම් නෑ. අන්තිමට අවුරුදු ගානක් ආදරේ කරල නවත්තල දාන්න වේවි, අපේ එකාට වුනා වගේ. ඊට වඩා හොඳයි අම්මල තාත්තල එහෙමයි කියල දන්නව නම් කලින්ම හොයල බලල ගැලපෙන්නෙ නැත්තන් දෙපැත්තට වෙන එක.
අවසාන වශයෙන් අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේකයි. (බඳින වයසෙ ළමයි ඉන්න අම්මල තාත්තල නම් මේක කියවන එකක් නැති වෙයි. ඒත් හැමෝම කවද හරි ඒ තැනට එනවනෙ. ඒ නිසා මේ දේ හිතේ තියාගන්න.) ඔය කුල මළ වගේ වැඩකට නැති දේවල් නිසා දරුවෙක්ගෙ ආදරයක් නැති කරල දාන්න එපා. දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. තමන්ට කුලේ මහ ලොකු දෙයක් වුනාට දරුවන්ට වටින්නෙ තමන්ගෙ ආදරය. දරුවො වෙනුවෙන් හැම කැප කිරීමක්ම කරන්න පුලුවන් නම් බොරු මාන්නෙ, මහන්තත්තෙත් දරුවො වෙනුවෙන් කැප කරන්න. තමන්ගෙ දරුවට වඩා කුලේ ලොකු කරගන්න එපා. පොවපු කිරි වලට එච්චර ලොකු වන්දියක් ඉල්ලන්න එපා. ඒක මහ පව් වැඩක්.

ඔන්න ඔහොම තමයි ශාන්ට හිතෙන්නෙ. මේක කියවන අයගේ අදහසුත් දැනගන්න පුලුවන් නම් මම කැමතියි.

....................................................................................................................................................................

ප.ලි. කුල ප්‍රශ්නෙ ඇරුනම ඔය වගේ කතා කරන්න ඕන තව දේවල් තියනව. තව අපි දෙමව්පියන්ගෙ පැත්තෙන් හිතන්න ඕන දේවලුත් තියනව. මම ඒවත් ලියන්න හිටියෙ. ඒත් ඒවත් කියන්න ගියොත් දිග වැඩි වෙනව. ඒව ඊලඟ ලිපියෙන් කතා කරමු.

No comments:

Post a Comment